චීන ආරක්ෂක ඇමැතිවරයෙක් පළමු වරට අද ශ්‍රී ලංකාවට

නිල සංචාරයක් සඳහා චීනයේ ආරක්ෂක ඇමැති ලියන් ගුවන්ග්ලි මහතා අද (අ‍ගෝස්තු 29) දින ශ්‍රී ලංකාවට පැමිණෙයි. චීනයේ ආරක්ෂක ඇමැතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර ඒ මහතා සමඟ එරට ඉහළ පෙළේ ආරක්ෂක නියෝජිතයන් පිරිසක්ද පැමිණෙති.

ශ්‍රී ලංකාවට පැමිණෙන ලියන් ගුවන්ග්ලි මහතා මෙරට රැඳි සිටින තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ රජයේ නියෝජිතයන් පිරිසක් සමඟ සාකච්ඡා කිරීමටද නියමිතව ඇත.

සපුගස්කන්දේ ආරක්ෂක පුහුණු විද්‍යාලය, පනාගොඩ හමුදා කඳවුර නිරීක්ෂණය කිරීමට නියමිත අතර ගාල්ල සහ හම්බන්තොට ප්‍රදේශයන්හිද සංචාරය කරයි.

චීනය විසින් ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ සුබ සාධන ව්‍යාපෘති සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100 කට අධික ආධාර ලබා දී ති‍බේ. කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ නවීකරණ කටයුතු සඳහා මෙන්ම ආරක්ෂක හමුදා සහ පොලිස් සේවාවේ සාමාජිකයන්ගේ දූ දරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් චීනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක පිරිනමා තිබේ.

චීන ආරක්ෂක ඇමැතිවරයා ඇතුළු නියෝජිත පිරිස මෙරටට පැමිණෙන්නේ පසුගිය ජුනි මාසයේදී හමුදාපති ජගත් ජයසූරිය මහතා චීනයේ සිදුකළ චාරිකාවේදී කළ ඇරයුමකට අනුවයි.

(දිනමිණ)

 

නැගෙනහිර බලය ගැනීමට හවුලක් හදන්නත් සම්බන්ධන් ලෑස්තියි

තමනට බහුතර බලයක් නොලදහොත් නැගෙනහිර පළාත් සභාවේ බලය ගැනීම සඳහා තවත් පක්‍ෂයක් හෝ කණ්ඩායම් සමග  සාකච්ඡා පවත්වන බව දෙමළ ජාතික සංධාන නායක  ආර්. සම්බන්දන් මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය ශ්‍රීලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය, ජාතික නිදහස් පෙරමුණ    ඇතුළු පක්‍ෂ 16ක්ද ස්වාධීන කණ්ඩායම් 16ක්ද එහි ආසන 35ක් සඳහා තරග වදියි. වැඩි ආසන ලබන පක්‍ෂයට  බෝනස්  ආසන දෙකක්ද හිමිවේ.

(ලංකාදීප)

බිලි පූජාවට එරෙහි මෝසම විසි වෙයි

මුන්නේශ්වරම ශ්‍රී භද්‍ර කාලි අම්මාන් දේවාලයේ සත්ව බිලි පූජා පැවැත්වීමට එරෙහිව විරෝධතා පැවැත්වීම තහනම් කරමින් පනවා තිබූ වාරණය අවලංගු කරන ලෙස ඉදිරිපත් කර තිබූ මෝසම හලාවත දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් ජගත් ඒ. කහඳගම මහතා විසින් විභාගයට නොගෙනම ඉවත දැමිණි.

සත්ව සුබ සාධන භාරය නීතිඥ නිහාල් සුමනධීර මහතා මගින් මෝසම ඉදිරිපත් කළේය.

(ලංකාදීප)

නයි නළඟන රිමාන්ඩ්

විස දළ ගැලැවූ නයකු සමග කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ සිටිය දී සැකපිට අත්අඩංගුවට ගත් දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25) නළඟන බ්‍රහස්පතින්දා (30) වනතුරු රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහා රෝහලට ගිය කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. මත් ගතියෙන් කෙළඹ රෝහලට ඇතුළු කළ ඇයට අදත් සිහිය නොතිබූ බවත් ඇය ළඟ සිටි නාගයා දෙහිවල සතුන්වත්තට බාරදුන් බවත් උසාවියේ දී කියවිණි. ඇය මෙම නාඟයා ළඟ තබා ගනිමින් කාමරයේ සිටි සෙසු අය බියට පත් කළැයි ද පොලිසිය අධිකරණයට දැන්විය. නායාගේ විස දළ ගලවා ඇතත් විස එකතු කැර එන්නත් මගින් ශරීරගත කැරගත හැකි බවත් මත්ද්‍රව්‍ය ගෙන සිටි නිසා නාග විස ඇගේ සිරුරේ ඇත්දැයි දැන ගත නොහැකි බවත් පොලිසිය අධිකරණයට දැක්වීය. (ලංකාදීප)

මාදුරුඔය හෙල්ලෙයි

පදියතලාවේ සිට කිලෝමීටර 19 ක් ඈතින් මාදුරුඔය වනෝද්‍යාන ප්‍රදේශයේ අද සවස 3.43 ට ස්‍රුඑ භූ කම්පනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. එහි සභාපති ආචාර්ය එන්.පී.විජයානන්ද මහතා පවසන්නේ මෙම භූමිකම්පාවෙන් නිවෙස් හි වහළ හෙළවී ගිය බවට වාර්තා වී ඇති බවයි. මෙවැනි භූමිකම්පාවකින් ඉදිකිරීම් කඩා වැටීමක් හෝ ජීවිත හානියක් සිදුනොවේ. (ලංකාදීප)

Powered by WordPress | Designed by: seo services | Thanks to massage bed, web designers and crest whitening strips